.webp)
ජනාධිපති මාධ්‍ය අංශය නිවේනයක් නිකුත් කරමින් පැවසුවේ, චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයෙකු කරන ලද ප්‍රකාශය විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරිමට ද තීරණය කර තිබේ.
2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
විනාශකාරී පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයෙකු ද මෙවැනිම ප්‍රකාශයක් කර ඇති බැවින් මෙම තත්ත්වය ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර ඇතැයි එහි සඳහන් ය.
මෙම ගැටළු පුළුල් ලෙස අවධානයට ලක්කර කඩිනමින් විසඳීම සඳහා, මෙම කැළඹිලි සහගත ප්‍රකාශයන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පවතින තත්ත්වයෙහි බරපතළකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවයි.
නීති සම්පාදකයින්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම තුළින් නිවැරදි හා තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා මග පෑදීම මෙම පුළුල් ක්‍රියාදාමයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම ඛේදනීය සිදුවීමේ අහිතකර ප්‍රතිවිපාක සමඟ සමස්ත ජාතියම පොරබදමින් සිටින අවස්ථාවක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති මෙම පියවර සත්‍යය හෙළිදරව් කිරීමට සහ බරපතල චෝදනා හමුවේ වගවීම සහතික කිරීමට ගත් තීරණාත්මක පියවරක් බව අදාළ නිවේදනයේ සඳහන් ය.
සත්‍ය සෙවීම සඳහා මෙම තීරණාත්මක විමර්ශනයන් සිදු කෙරෙන අතරම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමඛ රජයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.