අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 08-09-2023 | 6:37 AM

COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද (08)දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් පුත්තලම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ,ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝ මීටර් 40 ත් 45 ත් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. 

මේ අතර , පවතින වර්ෂාවත් සමග, දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරුව දක්වා දීර්ඝ කෙරිණ. 

කළුතර , රත්නපුර , ගාල්ල , මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇගවිම් නිකුත් කර තිබේ. 

මේ අතර වර්ෂාවත් සමග කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

එලෙස ජලයෙන් යටවී ඇත්තේ මෝල්කාව , බුලත්සිංහල, මෝල්කාව - පරගොඩ,ඉහළ වෙල්ගම බුලත්සිංහල,ඉහළ වෙල්ගම පරගොඩ හා ඉහළ වෙල්ගම, ලත්පඳුර යන මාර්ගයි.

කුකුළේ ගගේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.