ඉදිරි පැය කිහිපය තුළ කාලගුණය කෙසේ වෙනස් වෙයි ද?

හෙට (05) දිනය සඳහා අද (04) දහවල් 12ට නිකුත් කළ කාලගුණ අනාවැකිය

by Sagarika Chathumali 04-09-2023 | 12:21 PM

COLOMBO (News 1st) –  අද දහවල් 12ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි. 

ඊට අමතරව යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද  වැසි ස්වල්පයක්  ඇතිවිය හැකියි. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. 

මේ අතර ඉදිරි පැය 24  මුහුදු ප්‍රදේශ සඳහා නිකුත්  කළ කාලගුණ නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැකි අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකියි. 

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට ඉතා රළුවිය හැකි අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. 

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි.