බංග්ලාදේශයේ ඉරණම තීරණය කරන තීරණාත්මක සටන අද

ආසියානු කුසලානයේ බංග්ලාදේශයේ ඉරණම තීරණය කරන ඇෆ්ගනිස්ථානයට එරෙහි තීරණාත්මක සටන අද

by Haindu Gihan 03-09-2023 | 10:47 AM

COLOMBO (News 1st) - 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (03) පැවැත්වේ.

තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් වන මෙය, පකිස්ථානයේ ලාහෝර් නුවරදී මෙරට වේලාවෙන් පස්වරු 3.00 ආරම්භවීමට නියමිතව ඇත. 

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය මෙය වන අතර බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දෙන දෙවැනි තරගය මෙයයි.

බංග්ලාදේශය  මුහුණදුන් පළමු තරගය කඩුලු 5කින් ජය ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.

ඒ අනුව අද තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් 2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වනු ඇත.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි ටී.වී වන් නාලිකාව සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම තරගය ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.