ඉන්දු - පකිස්ථාන තරගය වැස්සට සේදෙයි..

ඉන්දු - පකිස්ථාන තරගය වැස්සට සේදෙයි..

by Staff writer 02-09-2023 | 10:04 PM

COLOMBO (News 1st) - 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය තීරණයකින් තොරව අවසන් විය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ලකුණු 267ක ඉලක්කයක් හිමිව සිටි පකිස්ථාන කණ්ඩායමේ ඉනිම ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැත.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 48කදී බිඳ වැටුණි.

ඒ අනුව ඉන්දීය නායක රෝහිත් ශර්මා පිටියෙන් ඉවත් වුණේ ලකුණු 11කටයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට ශහීන් ෂා අෆ්‍රිඩි සමත් විය.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 14කට දැවී ගිය අතර ශුබ්මන් ගිල් ලකුණු 10යි.

හර්ඩික් පාන්ඩ්‍යා සමග එක් වූ ඉශන් කිශන් බිඳ වැටුණු ඉන්දීය ඉනිමට ජීවයක් එක් කළේ, පස්වැනි කඩුල්ලට ලකුණු 138ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනගමිනි.

දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ ඉෂන් කිෂන් ලකුණු 82ක් රැස් කළේ ය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 87ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගිනි.

ඒ අනුව ඔවුන් පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 266ක් රැස් කළේ ය.