ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් තාවකාලිකව අත්හිටුවයි

කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකු මියයාම නිසා ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් භාවිතය තාවකාලිකව අත්හිටුවයි - සෞඛ්‍ය ඇමති

by Staff writer 27-08-2023 | 10:11 AM

COLOMBO (News 1st) – කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

ඒ, අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබාදෙන අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිදුවීම පදනම් කරගනිමින් ය.

කැපුම් තුවාලකට ප්‍රතිකාර ලබාගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ඖෂධ කාණ්ඩයේ එන්නත් 21,000 ක් පැවති බවයි.

ඉන් 18000 ක් මේ වන විට භාවිතයට ගෙන තිබේ. 

අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් එක් එන්නතක් සම්බන්ධයෙන් පමණක් මෙම තත්ත්වය වාර්තා වන බවයි.

ඒ සම්බන්ධයෙන් ඖෂධ ගැටලු සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව හරහා ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙයි.