47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන්

බස්නාහිර පළාතට ශූරතාව හිමිකර දෙමින් 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන්

by Staff writer 26-08-2023 | 9:23 PM

COLOMBO (News 1st) - මෙරට ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය වන  ජාතික මහා ක්‍රීඩා උළෙල අද  (26)සාර්ථකව නිමා විය.

ඒ තරගාවලියේ සමස්ථ ශූරතාවය බස්නාහිර පළාතට හිමිකර දෙමිනි.

47වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල දින 3ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

අද එහි සමාප්ති උළෙල පැවැත්වුණේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු ඇතුළු මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉසව් කිහිපයක අවසන් තරගද අද පැවැත්වුණු  අතර සමාප්ති උළෙල විචිත්‍රාංග රැසකින් වර්ණවත් විය.

සියලු තරග අවසානයේ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම දිනූ මධ්‍යම පළාතේ කේ. එම්. ඩී. දර්ශණ සම්නානයට පාත්‍රවිය.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර 400 කාන්තා ධාවන ඉසව්ව ජය ගත් දකුණු පළාතේ නදීෂා රාමනායක සම්මාන දිනා ගත්තා ය.

සමස්ත පදක්කම් සටහන අනුව මෙවර අනුශූරතාවය හිමි වූයේ, මධ්‍යම පළාතටයි.

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගත්තේ බස්නාහිර පළාතයි.