ප්‍රදේශ රැසක් අදත් දැඩි උණුසුම් කාලගුණයක්...

ප්‍රදේශ රැසක් අදත් දැඩි උණුසුම් කාලගුණයක් ......ඇස්වල සංකූලතා පිළිබඳවත් අනතුරු ඇඟවීමක්..

by Staff writer 25-08-2023 | 7:19 AM

COLOMBO (News 1st) : උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම වව්නියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද(25) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

එහි දැක්වෙන්නේ , එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි. 

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථාන වල හැකිතාක් විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරිම, අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරිම වැනි උපදෙස් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

මේ අතර , අධික උණුසුම් හා වියලි කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, මෙම කාලගුණ තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතුවිය හැකි බවයි.

මේ අතර , වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූ දහස් 230 ක් දක්වා ඉහළ ගොස් ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ,  දිස්ත්‍රික්ක 18 ක පිරිස් එලෙස ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බවයි