වැග්නර් කුලී හමුදා ප්‍රධානියා මිය ගියා ද?

රුසියාවේ පෞද්ගලික ජෙට් යානය කඩා වැටීමෙන් වැග්නර් කුලී හමුදා ප්‍රධානියාත් මිය ගියා ද?

by Staff writer 24-08-2023 | 6:39 AM

COLOMBO (News 1st) - රුසියාවේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10ක් මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාවේ වැග්නර් කුලී හමුදා ප්‍රධානී, යෙව්ගිනි ප්‍රිගොශීන් සහ එහි සමනිර්මාතෘ ලෙස සැලකෙන දිමිත්‍රි අට්කින් ද මියගිය පිරිස අතරට ඇතුළත් බවයි.  

රුසියාවේ මොස්කව් අගනුවර සිට ශාන්ත පීටර්ස් බර්ග් වෙත යානය පියාසර කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත. 

රුසියාවේ යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී, වැග්නර් කුලී හමුදාව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග එක්ව සටන් කළ නමුත්, පසුගිය ජූනි මාසයේදී එම සබඳතාව බිඳ වැටුණි.

ඒ, වැග්නර් හමුදාව, රුසියාවට එරෙහිව දියත් කළ හමුදා කැරැල්ල හේතුවෙනි. 

දෙපාර්ශ්වය අතර තිබූ මතබේදාත්මක තත්ත්ව මුල් කරනිමින්, මෙය සිදු වූ නමුත් පසුව බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකශේන්කෝගේ මැදිහත්වීමෙන් එය පාලනය විය.

එවැනි පසුබිමක, වැග්නර් හමුදා ප්‍රධානීට අයත් පෞද්ගලික ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්වීම සැක සහිත බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් රුසියානු බලධාරීන් පවසන්නේ, අනතුරට හේතුව සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බවයි.