පවතින සහල් තොග ප්‍රමාණවත්..

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත්- කෘෂිකර්ම ඇමති

by Staff writer 24-08-2023 | 2:37 PM

COLOMBO (News 1st) – පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ''කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග” යන මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් ජනාධිපති කාර්යාලයේ සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමින් ය.

පිටරටින් සහල් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පවසා තිබේ.  

ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම මේ වනවිට පවතින නියඟය හේතුවෙන් අක්කර 75 000ක වගාවන් ප්‍රමාණයක් විනාශ වී ඇති බව සඳහන් ය.

වී සහ සහල් මිල ඉහළ යාම පාලනය සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දී තිබේ.