හපුතලේ වෙඩි තැබීම: පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 5

හපුතලේ වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ කරන්න පොලිස් කණ්ඩායම් 5ක්.

by Staff writer 23-08-2023 | 5:11 PM

COLOMBO (News 1st) - හපුතලේ , අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද (23) උදෑසන බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය වූ හෝටලයට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත් වූ බවයි.

හෝටලයේ හිමිකරු සිය මිතුරෙකු සමග එහි සිටින අවස්ථාවේදී ඊයේ (22) රාත්‍රි 7 ට පමණ නාදුණන පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ වෙඩි තැබීම සිදුකර තිබිණි.

ඉන් හෝටල් හිමිකරු තුවාල ලැබූ අතර ඔහු සමග සිටි මිතුරා එම ස්ථානයේදීම මිය ගි‌යේ ය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මාතර මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවෙකු බවට අනාවරණ වී  ඇත.

තුවාල ලැබූ හෝටල් හිමිකරු ප්‍රතිකර ලබන්නේ දියතලාව රෝහලේයි.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ, පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.