ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී

ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී... රැඳවියන් පිටතට රැගෙන යාම සති 2කට අත්හිටුවයි..

by Staff writer 23-08-2023 | 6:17 AM

COLOMBO (News 1st) - ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන්නේ මොනින්ගොකොකල් නැමති රෝගයක් බව අනාවරණ වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරීය මහතා සඳහන් කළේ, රෝගය ව්‍යාප්තය පාලනය සඳහා සියලු පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා කරාපිටිය රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරයෙන් පිටව ගිය රැඳවියන් හා ඔවුන් බැලීමට පැමිණි පිරිස් හඳුනාගෙන එම පිරිසට රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවයි.

රෝගය වැළඳුනු රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් රැඳවියන් 7ක්  මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිටතට රැගෙන යාම සති 2 ක කාලයකට අත්හිටුවා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, රැඳවියන් අධිකරණ කටයුතුවලට ඉදිරිපත් කිරීම ද පවතින තත්ත්වය තුළ සති දෙකකට අත්හිටුවා ඇති බවයි.

අමුත්තන් බැලීම ද මෙම කාලසීමාව තුළ සීමා කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.