.webp)
COLOMBO (News 1st) – ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට යාමට නියමිත බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනතාවට දැනුම් දෙන්නේ, රස පරීක්ෂකවරයා දැනුම් දෙනතුරු එම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසය.
පරීක්ෂණ අවසන් වන තෙක් එම ස්ථානයට ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේ ය.
පෙරේදා රාත්‍රි හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලවක ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි දෙකකට හානි සිදුවිය.
ඊයේ අළුයම ගින්න පාලනයට හැකිවූ බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලීසිය සඳහන් කළේ ය.
මේ අතර, ගිනිගැනීමට ලක්වූ හෝමාගම රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම මත එම පියවර ගන්නා බවයි.