පාසල් රග්බි ශූරතාව ශාන්ත පීතර විද්‍යාලට

ඉසිපතන විදුහල පරාජය කරමින් වසර 13කට පසු, අන්තර් පාසල් රග්බි ශූරතාවය දිනා ගත් ශාන්ත පීතර විද්‍යාලය..

by Staff writer 19-08-2023 | 9:09 PM

COLOMBO (News 1st) - බම්බලපිටිය, සාන්ත පීතර විද්‍යාලය වසර 13කට පසු අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ  අද ( 19) දිනා ගත්තේ ය.

ඒ පසුගියවර ශූරයින් වූ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 28ට 17ක් ලෙස පරාජය කරමිනි. 

2023 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයන් තීරණය කළ  තරගය අද (19)  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ඒ තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පෙරමුණේ රැදී සිටි බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ එහි දෙවැනි ස්ථානයේ රැදී සිටි කොළඹ ඉසිපතන විද්‍යාලය අතරයි.

තරගයේ පළමු අර්ධය ලකුණු 15ක් 10ක් ලෙස සත්කාරක ශාන්ත පීතර කණ්ඩායම  පෙරමුණ ගත්තේ ය.

දෙවැනි අර්ධයේදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම තවත් ලකුණු 13ක් රැස් කළ අතර ඉසිපතන ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 7ක් පමණයි.

තරගයේ ශූරයින් වූ ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයින් රැස් කළ ලකුණු 28ට උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහර 2ක් ඇතුළත් විය.

ඉසිපතන ක්‍රීඩකයන් ලකුණු රැස් කළේ, උත්සාහක දිනුම් 2ක්, දඩුවම් පහරක් සහ ප්‍රවර්ථන 2ක් සාර්ථක කර ගනිමිනි.

ඒ අනුව පසුගිය වර ශූරයින් වූ කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම පරාජය කළ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවය දිනා ගත්තේ ය.

මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම වන ඔවුන්, අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ දිනූ 15 වැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වය කි.