කුඹුරුවලට ගිනි තැබුවොත් වගා හානි වන්දි නෑ..

වියළි කාලගුණය නිසා හානි වූ කුඹුරුවලට ගිනි තැබුවොත් වගා හානි වන්දි නැහැ - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 14-08-2023 | 12:57 PM

COLOMBO (News 1st) – වියළි කාලගුණයෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් වන්දි නොගෙවීමට, කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ගොවිජන රක්ෂණ මණ්ඩලයට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවයි.

වියළි කාලගුණයෙන් හානියට පත් කුඹුරුවල වගා හානි සම්බන්ධයෙන් තක්සේරු කිරීම් ආරම්භ කර ඇති පසුබිමකදී  මෙම තීරණය ගෙන තිබේ.

ගොයම් වගාවන්ට ගිනි තැබූ පසු හානි තක්සේරු කිරීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට වන්දි ලබා දීමට ද කිසිදු හැකියාවක් නැතැයි, අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමාත්‍යාංශය පවසන්නේ, යම් පුද්ගලයෙක් තම කුඹුරට ගිනි තබන්නේ නම් ඔවුන්ට රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ඇතුළු, සහන සඳහා වැය කරන ලද මුදලට ද කිසිඳු ප්‍රයෝජනයකින් නොමැති බවයි.

එවැනි පුද්ගලයින්ට ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට ද තීරණය කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.