සෞදියෙන්, පලස්තීනය වෙනුවෙන් තානාපතිවරයෙක්

ඉතිහාසයේ පළමු වරට සෞදි රජය පලස්තීනය වෙනුවෙන් තානාපතිවරයෙක් නම් කරයි

by Haindu Gihan 13-08-2023 | 8:24 AM

COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට සෞදි රජය විසින් පලස්තීනය වෙනුවෙන්, තානාපතිවරයෙක් නම් කර තිබේ.

ඒ අනුව මේ වන විට ජෝර්දානයේ තානාපති ලෙස කටයුතු කරන, නායෙෆ් අල් සුදයිරි, පලස්තීනයේ තානාපතිවරයා ලෙස ද කටයුතු කරනු ඇති. 

මේ වන විට පලස්තීනුවන් මධ්‍යධරනී කලාපයේ, බටහිර ඉවුරේ සහ ගසා තීරයේ පවතින පලස්තීන බල ප්‍රදේශවල ජීවත් වේ.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ තානාපතිවරයෙකු පත් කිරීම, පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් සෞදි අරාබිය කැපවී සිටින බව තහවුරු කෙරෙන පණිවිඩයක් බවයි. 

කෙසේ වෙතත්, සෞදි අරාබිය,ඊශ්‍රායලය සමගද විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින පසුබිමක සිදුකර ඇති මෙම නව පත්වීම සුවිශේෂී බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් යුදෙව්වන් සහ අරාබි ජාතිකයින් අතර භුමිය බෙදා වෙන් කොට 1948 වසරේදී ඊශ්‍රායලය ගොඩ නැගීමත් සමග පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මෙම ගැටලුකාරී තත්ත්වය ආරම්භ විය.