සමනල වැව බලාගාරයේ විදුලි නිෂ්පාදනය සීමා කෙරේ

සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කෙරේ

by Staff writer 12-08-2023 | 6:14 PM

COLOMBO (News 1st) - සමනල වැව බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව සීමා කර තිබේ.

ඒ, ජලාශයේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහතවැටීම හේතුවෙනි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාරයට ජලය ලබා ගන්නා පිවිසුමේ ජල සුළි ඇතිවීමේ අවදානමක් හේතුවෙන් විදුලි නිෂ්පාදන ක්ෂමතාවය ද පහත හෙළා ඇති බවයි.

මේ වනවිට බලාගාරයේ විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 80 කි.

මේ අතර උඩවලව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5751 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කාර්යභාර ඉංජිනේරුවරයා පැවසුවේ, අද (12) පස්වරුව වනවිට වම් ඉවුරට තත්පරයට ඝන මීටර් 12.26 ක ජල ධාරිතාවක් මුදා හරින බවයි.

දකුණු ඉවුරට මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 9.69 කි.

මේ අතර දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ ඉදිරිකිරීම් ඉදිරි දින 5 තුළ අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, එහි අවසන් අදියරේ ඉදිකිරීම් සඳහා බාධාවක්ව පැවති කොටසේ රැහැන් ඇදීමට අදාළ ඉඩමේ හිමිකරු අවසර ලබා දීමත් සමගයි.

ඒ අනුව ඉඩමට ඉහළින් පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ විදුලි රැහැන් ඇදීම අද (12) ආරම්භ කෙරුණි.

මේ අතර දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියාවලින් පසු ලබන බදාදා රාත්‍රීය වනවිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවෙතැයි, විදුලි බල මණ්ඩල විශ්වාසය පළ කළේ ය.