.webp)
COLOMBO (News 1st) – ගිනි ගැනීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඒ, හබරණ සහ ගල්ඔය අතර සිදුවූ ගිනි ගැනීම් හේතුවෙන් ය.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඒ හේතුවෙන් පීලි කිහිපයක් ද ගිනි ගෙන ඇති බවයි.
ගිනි ගැනීමට ලක්වූ පීලි ඉවත් කර අලුතින් පීලි එක් කළ බව ද ඔහු සඳහන් කළා.
ගිනි ගැනීම්වලදී අවස්ථාවෝචිතව සුදුසු පියවර ගන්නැයි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මීට අමතරව උඩරට දුම්රිය මාර්ගය ආසන්නයේ ද ගිනි ගැනීම් වාර්තා වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර රක්ෂිත ආශ්‍රිත ගිනි තැබීම් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එහි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ , ඊයේ රාත්‍රිය වනවිට යහන්ගල, නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව ගිනි ගැනීම් වාර්තා වූ බවයි.
ඒ හේතුවෙන් යහන්ගල රක්ෂිතයේ හෙක්ටයාර 500 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 170 ක් සහ නුවරඑළියේ හෙක්ටයාර 25 ක් විනාශ වී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ එල් එම් උදය කුමාර මහතා සඳහන් කළේ, හපුතලේ තංගමලය, මහියංගනය, සොරබොරවැව ,හල්දුම්මුල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව ගිනි ගැනීම් වාර්තා වන බවයි.