.webp)
COLOMBO (News 1st) – අමෙරිකාව නයිජර් රාජ්‍යයේ විදේශ ආධාර වැඩසටහන් තාවකාලිකව නතර කර තිබේ.
නමුත් නයිජර් වැසියන් සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබාදෙන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළේ ය.
පසුගිය ජූලි 26 වැනිදා නයිජර් ජනාධිපති මොහොමඩ් බාසුම්ව සිය භාරයට ගෙන හමුදාව එරට පාලන බලය අල්ලා ගත්තේ ය.
බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ඊට දැඩි විරෝධය පල කර තිබේ.
නයිජර් හමුදාව එරට බලය අල්ලා ගැනීම, පසුගිය වසර 3ක කාලය තුළ අප්‍රිකානු කලාපයේ රටක සිදුවූ හත්වැනි හමුදා කුමන්ත්‍රණයයි.
මේ අතර, නයිජර් රාජ්‍යය හමුදා පාලනයෙන් ගලවා ගැනීමට බටහිර අප්‍රිකානු රටවල් මිලිටරි මැදිහත්වීමක් සඳහා සැලැස්මක්ද සකස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
බටහිර අප්‍රිකානු රාජ්‍යවල ආර්ථික ප්‍රජාව පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්ද පැවැත්වූවේ ය.
නව හමුදා පාලනය මේ වනවිට පැවැති රජය විසින් පත් කරනු ලැබු තානාපතිවරුන් පිරිසක් සේවයෙන් ඉවත් කර ඇතැයිද සඳහන් ය.
මේ අතර, අමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතට තොරතුරු ලබාදෙමින් නයිජර් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ අමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල් කඩිනමින් මෙය සමථයකට පත් කිරීමට ඉදිරිපත් විය යුතු බවයි.