ඔක්තොබර් තෙක් ප්‍රමාණවත් වැසි නැහැ

ඔක්තොබර් තෙක් ප්‍රමාණවත් වැසි නැහැ.. ජලාශ රැසක ජල මට්ටම් පහළට.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 02-08-2023 | 6:01 AM

COLOMBO (News 1st) - ඔක්තොබර් මාසය වන තෙක් ප්‍රමාණවත් වැසි නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, නිරිත දිග මෝසම ද ප්‍රමාණවත් පරිදි නොලැබුණු බවයි.

මේ අතර වියළි කාලගුණයත් සමග ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවති.

වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, ජලාශවල ධාරිතාව 33.3% ක් දක්වා පහළ ගොස් ඇති බවය.

මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද 34% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කළේ ය.

මේ හේතුවෙන් ජල විදුලි ජනනය සමස්ත විදුලි ජනනයෙන් 16% ක් දක්වා පහළ ගොස් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටමද 20% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව දෛනික විදුලි ජනනයෙන් 64% ක් ම ලබා ගැනීමට සිදුව ඇත්තේ ගල් අඟුරු හා තාප බලාගාරවලිනි.

සූර්ය බලයෙන් 5% ක් හා සුළං බලයෙන් 6% ක් දෛනිකව ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇත.

මේ අතර මෙරට විදුලිබල ඉල්ලුම ද ගිගා වොට් පැය 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.