කංචනගෙන් පිරවුම්හල් හිමියන්ට රතු නිවේදනයක්..

ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හලවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග - කංචන විජේසේකර

by Staff writer 30-07-2023 | 5:51 PM

COLOMBO (News 1st)  - ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හලවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාලනය කරන පිරවුම්හල් 101ක ඔක්ටේන් 92 පෙට්‍රල් තොග ඊයේ (29) වන විට නොපැවති බවයි.

ඊට අමතරව තවත් පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල් තොග, ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන ගොස් නැත.

අමාත්‍යවරයා පවසන්නේ, මිල සංශෝධනයක් අපේක්ෂාවෙන් පිරවුම්හල් හිමියන් එවැනි තීරණයක් ගෙන ඇති බවයි.

එසේ නොකොට අවශ්‍ය තරම් තොග පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ඇණවුම් කරන්නැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පිරවුම්හල් හිමියන්ට දැනුම් දෙයි. 

පසුගිය මාසයේදී නිසි පරිදි තොග පවත්වාගෙන නොගිය පිරවුම්හල් කිහිපයක පාලනය, ඛනිජ තෙල් සංස්ථාව යටතට ගත් බව ද  අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.