එක්ස්ප්‍රස් පර්ල් අනතුරට අදාළව, අතරු ගෙවීමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව, අතුරු ගෙවීමකට නෞකා සමාගමේ එකඟතාව.

by Staff writer 30-07-2023 | 5:53 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු ගෙවීමක් කිරීමට නෞකා සමාගමේ නීතිඥවරුන් සිය එකඟතාව පළ කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළ එකඟතා, ඊයේ (29) මෙරටට දැනුම්දී ඇති බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණය වෙනුවෙන් සහ අනතුර හේතුවෙන් පීඩාවට පත්වූ ධීවරයින් වෙනුවෙන් අදාළ අතුරු ගෙවීම සිදුකිරීමට නියමිතව ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අතුරු ගෙවීමට අදාළ සවිස්තර වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත සමාගමේ නීතිඥවරුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව නෞකා අනතුරින් සිදුවූ සමස්ත හානියට අදාළ සාරාංශගත වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත නීතිඥවරුන්ට යොමු කිරීමට සැලසුම් කර තිබේ.

අදාළ වාර්තාව සකස් කෙරෙන්නේ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි.