.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සහය දැක්වීමට මෙන්ම එම කටයුතු කඩිනම් කිරීම සඳහා අනෙකුත් සියලුම හවුල්කරුවන් දිරිමත් කිරීමට පැරිස් සමාජ ලේකම් කාර්යාලයේ සහ ප්‍රංශ රජයේ උපරිම සහය ලබාදෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ය.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
එමෙන්ම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හඳුනා ගෙන තිබේ.
සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ, සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය එම ක්ෂේත්‍රවලට ඇතුළත් ය.
මේ අතර, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින්, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රංශ ජනාධිපතිවරයා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඊයේ රාත්‍රී 11.35 ට පමණ ප්‍රංශ රජයට අයත් ගුවන් යානා 3 කින් ජනාධිපතිවරයා ඇතුළු දුත මණ්ඩල පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියේ ය.
ඒ, ඔහුගේ පැපුවා නිව්ගිනි සංචාරය අවසන් කරමින් ය.
යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජොං- ෆ්‍රන්ස්වා පක්ටෙට් (Jean-Francoise Pactet), ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් ඇතුළු පිරිසක් එම දූත පිරිසට අයත් ය.
මෙම පිරිස පිළිගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියේ ය.
ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැය 03 කට ආසන්න කාලයක් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැදී සිට පසුව අලුයම 01.44 ට නවැත ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය බව සඳහන් ය.