චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ ජනපති හමුවෙති

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ ජනපති හමුවෙති

by Sagarika Chathumali 24-07-2023 | 8:11 PM

COLOMBO (News 1st) – චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 


ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් මහතා ප්‍රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කළ අතර රට තුළ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳවද පැහැදිලි කළේ ය. 

මෙම කටයුතුවලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වී තිබේ. 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වා ඇත. . 

එම කටයුතු අවසන් වීමෙන් පසු, නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබේ. 

මෙහිදි චීන නියෝජිත පිරිස පවසා ඇත්තේ අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බවයි.