යුක්‍රේනය වෙනුවෙන් ඩොලර් බිලියන 22ක අරමුදලක්

යුක්‍රේනය වෙනුවෙන් ඩොලර් බිලියන 22ක අරමුදලක් පිහිටුවනවා - යුරෝපා සංගමය

by Staff writer 21-07-2023 | 3:48 PM

COLOMBO (News 1st) – යුක්‍රේනය වෙනුවෙන් ඩොලර් බිලියන 22ක අරමුදලක් පිහිටුවන බව යුරෝපා සංගමය පවසනවා. 

ඒ රුසියාවට එරෙහි යුද්ධය සඳහා යුක්‍රේනයට අවශ්‍ය ආයුධ, පතොරම් සහ අනෙකුත් හමුදා ආධාර සැපයීමේ අරමුණින්. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉදිරි වසර හතරක කාලයක් තුළ, කොටස් වශයෙන් මෙම අරමුදල යුක්‍රේනයට ලබා දීමට නියමිත බවයි.  

ඊයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති යුරෝපා සංගමයේ රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමකදී මේ බව සාකච්ඡා වී තිබේ. 

මේ අතර පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ කළු මුහුද හරහා යුක්රේන ධාන්‍ය අපනයනය කිරීමේ එකඟතාවයද බිඳ වැටුණි. 

රුසියාව යුක්‍රේනයේ ඔඩෙසා වරායට එල්ල කළ ප්‍රහාර හමුවේ අපනයනය සදහා සූදානම් කර තිබූ ධාන්‍ය ටොන් 60,000ක් පමණ විනාශ වූ බව විදෙස් වාර්තාවල සඳහන්. 

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ, කළු මුහුද හරහා මින් පසු යුක්‍රේනයට ළඟාවන ඕනෑම නෞකාවක්, ආයුධ ප්‍රවාහනය කරන නෞකා ලෙස සලකන බවයි.