ලක් මව රිදියෙන් සැරසූ චින්තන ගීතාල්

පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලිමේ ශූරතාවලියේදී චින්තන ගීතාල් රිදී පදක්කමක් දිනා ගනී

by Staff writer 14-07-2023 | 10:02 PM

COLOMBO (News 1st) – චින්තන ගීතාල් විදානගේ 2023 පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලිමේ ශූරතාවලියේ රිදී පදක්කමක් දිනා ගත්තේ ය. 

ඉන්දියාවේදී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල බර ඉසිලිමේ ශූරතාවලියේදී  චින්තන ගීතාල් විදානගේ දිනා ගත්තේ, කිලෝ ග්‍රෑම් 81 බර පන්තියේ රීදී පදක්කමයි.  

ඒ කිලෝ ග්‍රෑම් 290ක මුළු බරක් ඔසවමිනි.

ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 128ක්, සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 162ක බරක් එසවීය. 

මේ අතර කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක දිනා ගත්තේ ය. 

ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130ක් එසවූ අතර  ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝ  ග්‍රෑම් 155කි. 

ඒ අනුව ඉන්දික කිලෝ ග්‍රෑම් 285ක මුළු බරක් ඔසවමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීය.

මේ අතර මීට සමගාමීව ක්‍රියාත්මක වන පොදු රාජ්‍ය මණ්ඩල කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් තරග කළ ශ්‍රී ලංකාවේ මලීෂ කරුණාරත්න එහි රන් පදක්කම දිනා ගත්තේ ය. 

ඒ, කිලෝ ග්‍රෑම් 255ක මුළු බරක් ඔසවමිනි.