සෞඛ්‍ය සේවාවේ මතුව ඇති ගැටලු ගැන ජනපතිගේ අවධානය

ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු සොයා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනපති නියමයෙන් කමිටුවක්

by Staff writer 14-07-2023 | 5:42 PM

COLOMBO (News 1st) - රටට ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු සහ සෞඛ්‍ය සේවා ආයතනවල සිදු වූ බව පැවසෙන මෑත කාලීන සිදුවීම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශ පැවසීය.

මේ අතර ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට හා සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවය සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ මෙතෙක් ලියාපදිංචි වී නොමැති වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි සති දෙකක් තුළ සංශෝධනය කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇත.

මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.