රට ගොඩ නැගීමට මූල්‍ය විනයක් අවශ්‍යයි - ජනපති

රට ගොඩ නැගීමට මූල්‍ය විනයක් අවශ්‍යයි - ජනපති

by Staff writer 13-07-2023 | 4:32 PM

COLOMBO (News 1st) –  රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව භාරදුන් අවස්ථාවේදී ය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙම වාර්තාව පිළිගන්වා තිබේ.

ජනතාවට බරක් නොවන පරිදි පවතින ආදායම් මාර්ග විධිමත් කිරීම හා නව ආදායම් මාර්ග හඳුන්වා දෙමින් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන යෝජනා ඇතුළත් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාර්තාව සකස් කර ඇත.

රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ, රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බවත් ය. 

රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව එහි දී ඔහු කියා සිටියේ ය.