සරම්ප යළි හිස ඔසවන ලකුණු

එන්නත් නොකළහොත් අනෙක් ළමා රෝගත් බෝ වීමේ අවදානමක්

by Staff writer 13-07-2023 | 2:39 PM

COLOMBO (News 1st) –  සරම්ප රෝගය නිශ්චිත වශයෙන්ම වැළඳී ඇති අවුරුද්දට අඩු ළමුන් තිදෙනෙකු මේ වනවිට හඳුනා ගෙන ඇතැයි, රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා පැවසුවේ, ඔවුන් මේ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ජුනි සහ ජුලි මාස දෙක තුළ සරම්ප රෝගය නිශ්චිත වශයෙන්ම වැළඳී ඇතැයි, තහවුරු වූ දරුවන් 7 දෙනෙකු වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවත් යළිත් සරම්ප රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ ඊයේ (12) අනාවරණය කළේ ය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, 2019 සරම්ප රෝගය තුරන් කළ රටක් බවත් 2019 සිට සරම්ප රෝගීන් වාර්තා නොවූ බවයි. 

මෙලෙස රෝගය වැළඳී ඇති බවට හඳුනා ගත් සියලු රෝගීන් සරම්ප සඳහා කිසිඳු එන්නතක් ලබා ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

මෙම රෝගය ඇති වන්නේ කෙසේ ද? සහ රෝග ලක්ෂණ මොනවා ද?

පළමුව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උණ, නාසයෙන් සොටු දියර ගැලීම, ඇස් රතු වීම වැනි රෝග ලක්ෂණ මතු වන බවත් වෛරසය ආසාදනය වී දින 4ක් පමණ යනවිට සරම්ප රෝගයේ විශේෂිතම ලක්ෂණයක් වන ශරීරයේ රතු පැහැති රෑෂ් එකක් මතු වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසී ය.

විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ, රෝග කාරක වෛරසය ශ්වසන මාර්ගය හරහා බෝ වීම සිදුවන බවත් වෛරසය ශරීරගත වී සතියක් දෙකක් ඇතුළත රෝග ලක්ෂණ මතු වන බවත් ය.

 එන්නත්වලින් වළක්වා ගත හැකි ළමා රෝග අතරින් ඉතාමත් වේගයෙන් පැතිරීමේ හැකියාවක් පවතින්නේ, සරම්ප වෛරසය බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා පැවසී ය.

සරම්ප ආසාදිතයකුගෙන් සාමාන්‍යයෙන් දින 16ත් 18ත් අතර කාලයක් තුළ තවත් අයෙකුට රෝගය බෝ වීමේ හැකියාව පවතින බව ද ඒ මහතා පැවසුවේ ය.