තෙල් නළයක් එළීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

ඉන්දියාවේ නාගපට්නම්-ත්‍රිකුණාමලය සහ කොළඹ අතර තෙල් නළයක් එළීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

by Staff writer 13-07-2023 | 1:29 PM

COLOMBO (News 1st) – ඉන්දියන් ඔයිල් සමාගමේ යෝජනාවකට අනුව ඉන්දියාවේ නාගපට්නම් - ත්‍රිකුණාමලය සහ කොළඹ අතර තෙල් නළයක් එළීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ තවත් සාකච්ඡාවක් පවත්ව තිබේ. 

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ඛනිජතෙල් සංස්ථාව, ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ලංක ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය, ඉන්දියව් ඔයිල් හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම්වල නියෝජිතයින් සහභාගීවී ඇත. 

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත්කළ ට්විටර් පණිවිඩයක දැක්වුෙණ්, ගෑස් හා ඛනිජ තෙල් නළ දෙකක් මගින් දෙරට සම්බන්ධ කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී තමන් ඉල්ලීමක් කළ බවයි.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය දැනටමත් සැලසුම් කර තිබේ. 

එය ඉන්දියන් ඔයිල් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙස වැඩිදියුණු කරමින් ඇති අතර තෙල්, ගෑස් සහ ඛනිජතෙල් ගවේෂණ කටයුතු සදහාද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට නියමිතයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා ප්‍රකාශ කෙළ්, එහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි.