.webp)
COLOMBO (News 1st) – අනුරාධපුර - ඕමන්තේ අතර විශේෂ නිරීක්ෂණ දුම්රියක් ධාවනය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද උදෑසන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඒ සදහා සහභාගී වූ බවයි.
එහි ධාවන යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා M 11 වර්ගයේ දුම්රිය එන්ජිමක් සහ වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී නවීන මැදිරි කට්ටලයක් මෙම ධාවනය සඳහා එක්කර තිබුණි.
අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණේ, පසුගිය ජනවාරි මාසයේදී ය.
මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළේ ය.
ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.
මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරිමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනය - කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ය.