පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වූ තරුණියගේ මරණය ගැනත් සැකයක්

by Staff writer 12-07-2023 | 8:15 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය සේවය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු ගණනාවක් නිව්ස් ෆස්ට් පසුගිය දින කිහිපයේම අනාවරණය කළේ ය. 

CT ස්කෑන් යන්ත්‍ර අක්‍රියවීම, නිර්වින්දන ඖෂධයක් නිසා ඇතිවූ තත්ත්වය මෙන්ම අක්ෂි ශල්‍යකර්මවලින් පසුව භාවිත කළ ඖෂධයක් නිසා ඇතිවූ තත්ත්වය ඒ අතර විශේෂයි.

මීට අමතරව ඖෂධ නියාමන ක්‍රියාවලියට අදාළව මතුව ඇති ගැටලු ගණනාවක් ද  අප අනාවරණය කළේ ය. 

දැන් මේ ප්‍රශ්න විසඳිලා ද?


පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් වාර්තාවූ තවත් ප්‍රශ්නගත මරණයක් පිළිබඳව තොරතුරු අද වාර්තා විය. 

21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ, පාචන රෝග තත්ත්වයක් හේතුවෙනි.

එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ උදෑසන පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර තිබිණ. 

මියගිය චමෝදී සංදිපනිගේ මව සිද්ධිය සම්බන්ධෙයන් ෙමෙලස අදහස් පළ කළේ ය. 

''තුනාහාමාරට විතර මගේ දුවට සේලයින් එකක් අතට කැනියුලා එකක් ගහලා බෙහෙත් එකක් සේලයින් එක ගහලා බෙහෙත් දෙකක් විද්දා බෙහෙත් දෙක විදින කොටම දරුවට ඇස් දෙකත් එක්ක මොකක්දෝ වෙලා ඇදේ ඉදගෙනම ඉන්න ගමන් මගේ මැණිකට කතාකරන කොට කිව්වා අම්මා මොකක්දෝ වෙන්න එනවා කියලා එහෙම්ම ගියා බාත්රූම් එකට දුවගෙන ගිහින් මමත් යනවත් එක්කම ලමයා ගිහිල්ලා සින්ක් එකේ ඔළුව තියාගත්තා විතරයි අත පය ඔක්කොම නිල් වෙලා මගේ ළමයා එහෙමම කඩාගෙන වැටුණා''


මියගිය චමෝදී සංදිපනිගේ පියා ද මෙලෙස අදහස් පළ කළේ ය. 

 ''ඉන්ජෙක්ෂන් එකක් දුන්නට පස්සේ දුව කියලා තියෙනවා අත දනවා කියලා, අත දනවා කිව්වට පස්සේ ඕක සැර ඉන්ජෙක්ෂන් එකක් දුව පොඩ්ඩක් දනවා හරියයි කියලා තව විනාඩි දෙකකින් විතර ඇවිල්ලා තව ඉන්ජෙක්ෂන් එකක් දුන්නලු. ඒක දීලා ඉවරවෙලා අනිත්ත පැත්ත හැරෙනකොටම අම්මට කියලා තියෙනවා අම්ම මගේ ඇග දනවා ඇස් දෙක දනවා කටෙන් සැරක් එනවා වගේ.''

පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ එන්නතක් වැරදී ඇති බවට මියගිය තරුණියගේ දෙමව්පියන්ගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි.

ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේ අදාල තරුණිය මියගිය බවත් ඊට හේතුව තවමත් අනුමාන කළ නොහැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. 

මීට පෙර ප්‍රශ්න මතුවී තිබූ කිසිදු ඖෂධයක් ඇයට ලබානොදුන් බව ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ ය. 

ඔහු පැවසුවේ, ඇයට ලබාදුන් ඖෂධ රෝහලේ සෙසු රෝගීන්ට ද ලබාදී ඇති බවයි.

මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී බුපිවකේන් නමැති නිර්වින්දන ඖෂධය ලබාදීමෙන් පසුව කාන්තාවන් දෙදෙනකු මියගිය අතර පසුව අනාවරණය වුෙණ්,  අදාළ ඖෂධයේ එක් ඛාණ්ඩයක‍ සංඝටකයක් අඩු බවයි.

මේවනවිට එම ඖෂධය භාවිතයෙන් ඉවත්කර තිබේ. 

සෞඛ්‍ය සේවය සංකීර්ණ විෂයයක්.

එම රටේ සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ නොවෙන්න පුළුවන්.

නමුත් සෞඛ්‍ය කියන්නෙ වටිනා ජීවිත තීරණය කරන සාධකයක්.

මේ නිසා මේ සිදුවීම් ගැන වහා පිළිගත හැකි නිසි විද්‍යානුකූල විමර්ශන සිදුකළ යුතු නොවේද?