විදුලි බල හා බලශක්ති ඇමතිගෙන් ගැසට් නිවේදනයක්...

ඛනිජ තෙල් ආනයනය, විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඇමතිගෙන් ගැසට් නිවේදනයක්

by Staff writer 11-07-2023 | 7:22 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ආනයනය , අපනයනය , විකිණීම , සැපයීම හෝ බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා අද ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. 

එම ගැසට් නිවේදනයට අනුව බලපත්‍ර නිකුත් කිරීමේ බලය ඇත්තේ අමාත්‍යවරයාටයි.

මුදල් හා තාක්ෂණික හැකියාව ඇති සමාගම් අමාත්‍යාංශ ලේකම්වරයාට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

එය කමිටුවක් මගින් ඇගයීමට ලක්කිරීමෙන් පසුව අමාත්‍යවරයා විසින් අදාළ  බලපත්‍රය නිකුත් කරනු ලබයි. 

මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විය යුතු බව ද ගැසට් නිවේදනයේ සඳහන් ය.

ඇමරිකානු ඩොලර් මිලියන දෙකක වාර්ෂික ගාස්තුවකට යටත්ව වසර 20ක කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට ගැසට් නිවේදනයෙන් අවස්ථාව සලසා තිබේ.

මේ වනවිට චීනයේ සයිනොපෙක් සමාගම සහ ඇමරිකාවේ ආර්.එම් පාර්ක්ස් සමාගම් මෙරට ඛනිජ තෙල් වෙළඳපොළට ඇතුළුවීමට ගිවිසුම් ගතවී සිටින අතර ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සමග ගිවිසුම්ගත වීමට නියමිතයි.

චීනයේ සයිනොපෙක් සමාගම සයිනොපෙක් ශ්‍රී ලංකා නමින් මෙරට සමාගමක් දැනටමත් ලියාපදිංචි කර තිබේ.