X-Press Pearl වන්දි නඩුව සිංගප්පූරු අධිකරණයට...

X-Press Pearl වන්දි නඩුව සිංගප්පූරු අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟ වෙයි..

by Staff writer 09-07-2023 | 5:00 PM

COLOMBO (News 1st) –  එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟතාව පළ කර තිබේ. 

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොන්දේසිවලින් තොර ගිවිසුමක් යටතේ එය සිදුකිරීමට එකඟතාව පළ කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජය වන්දි ඉල්ලා සිංගප්පූරුවේ පැනවූ නඩුවේ ලිපි ලේඛන, නෞකා සමාගමේ නීතිඥවරුන් වෙත ලබාදෙන්නැයි සිංගප්පූරු අධිකරණය නියෝග කර තිබේ. 

ඒ, ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

එම නියෝගයට අනුව ලබන 14 වැනිදා අදාළ ලිපි ලේඛන ලබාදිය යුතු වෙයි. 

මේ අතර,  වන්දි මුදල සීමා කරමින් ලන්ඩන් අධිකරණය පැනවූ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. 

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලක් රජයට එරෙහිව ලන්ඩන් අධිකරණයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවයි.

මේ අතර , එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කෙරුණු විශේෂ කණ්ඩායමේ නියෝජිතයින් ලබන 17 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. 

ඒ, දින දෙකක සාකච්ඡා සඳහා ය.