ආබාධිත අයට රියැදුරු බලපත්‍ර ගන්න නව ක්‍රමවේදයක්

ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්

by Staff writer 09-07-2023 | 8:30 AM

COLOMBO (News 1st) - ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්  නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකුගෙන් එම කමිටුව සමන්විත වන බව, ඔහු සඳහන් කළේ ය.

කමිටුව මගින් කිසියම් වාහන අංශයක් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කරන ආබාධිත පුද්ගලයකුට පවතින ආබාධිත තත්ත්වය මත, තමා ඉල්ලුම් කළ වාහනය ධාවනය කිරීම සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවාද යන්න මූලිකව පරීක්ෂා කිරීම සිදු කරනු ඇත.

අදාළ වාහනයේ අංගෝපාංග භාවිතයට, පවතින ආබාධිත තත්ත්වය බාධාවක් ද යන්න පිළිබඳව එහිදී  ප්‍රායෝගිකව පරීක්ෂා කිරීමට නියමිත වේ.

එලෙස බාධාවක් නොවන බවට විශේෂඥ කමිටුව නිර්දේශ කරන්නේ නම් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය යට‍තේ ලිඛිත සහ ප්‍රායෝගික  පරීක්ෂණ සඳහා පෙනී සිටිමට අදාළ  පුද්ගලයාට අවස්ථාව හිමි වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

‍මීට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් ද නිකුත් කෙරිණ.