කෝපා කමිටුවෙන් සත්ත්වෝද්‍යාන බලධාරීන්ට උපදෙසක්..

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණයට නිසි වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කරන්න - කෝපා කමිටුවෙන් සත්ත්වෝද්‍යාන බලධාරීන්ට උපදෙස්..

by Staff writer 08-07-2023 | 7:04 AM

COLOMBO (News 1st) –  වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණයට නිසි වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කරන්නැයි රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව සත්ත්වෝද්‍යාන බලධාරීන්ට උපදෙස්දී තිබේ. 

කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිහවන්න මහතා උපදෙස් ලබාදී ඇත්තේ, වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම කමිටුව සකස් කරන ලෙසයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පසුගියදා රැස්විය.

IUCN රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද එහිදී කෝපා කමිටුව පෙන්වා දී තිබේ. 

කෝපා කමිටුව පෙන්වා ඇත්තේ, මේ සම්බන්ධව පුළුල් ජාතික සමීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද කමිටුවේදී විශේෂ අවදානය යොමුවී තිබේ.