අක්ෂි ශල්‍යකර්මයකදී වූ මරණය ගැන විමර්ශනයට කමිටුවක්

අක්ෂි ශල්‍යකර්මයකදී දෙදරු මවක් මිය යෑම ගැන විමර්ශනයට කමිටුවක්...

by Staff writer 08-07-2023 | 7:28 AM

COLOMBO (News 1st) – අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසයි. 

අධ්‍යක්ෂවරයා පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි.
 
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි හිමාලි වීරසිංහ නම් දෙදරු මවකි.

ඇය මීට සති 2කට ඉහතදී කොළඹ අක්ෂි රෝහලේදී අක්ෂි කාචයක් දැමිමේ ශල්‍යකර්මයකට මුහුණ දී තිබුණි. 

ඥාතීන් පැවසුවේ, පසුගියදා ඇය රෝහලේ සායනයට ගිය අවස්ථාවේ කාචය නිසි ලෙස බද්ධවී නොමැති බැවින් නැවතත් ශල්‍යකර්මයක් කඩිනමින් සිදු කළ යුතු වෛද්‍යවරුන් පවසා ඇති බවයි.

එම ශල්‍යකර්මය සිදුකරන අතරතුර කාන්තාව මියගොස් ඇතැයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා ප්‍රකාශ කළේ ය