පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක්

පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක්... දිස්ත්‍රික්ක 2කට නායයෑමේ අනතුරු ඇඟවීම්...

by Staff writer 06-07-2023 | 6:08 AM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද (06) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ (05) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ය.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ඊයේ (05) පස්වරුවේ නිකුක් කළ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

එමෙන්ම නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වලට අද (06) සහ හෙට (07) නිවාඩු ලබා දී ඇත.

මේ අතර තද සුළං සමග කඩවත, ගෝණහේන ප්‍රදේශයේ ගස් කඩා වැටී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඉන් නිවාස 3කට අර්ධ හානි සිදු වූ බවයි.

මේ අතර පැවති වැසි සහ තද සුළං සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 2224 ක් පීඩාවට පත්ව සිටි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. 

තද සුළං හමුවේ ඇති වූ ආපදාවලින් නිවාස 599 කට අර්ධ හානි සිදුව ඇත.

පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 2කි. 

අධික වැසි සමග ඇති වූ ආපදාවලින් පුද්ගලයින් 05 දෙනෙකු ද තුවාල ලබා තිබේ.

පුද්ගලයින් 121 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.