චීන පොහොර ආනයනය කළ අයට මොකද වෙන්නේ?

චීන කාබනික පොහොර ආනයනය වගකිවයුත්තන්ට නඩු පැවරීමට කමිටුවක්

by Sagarika Chathumali 06-07-2023 | 7:45 PM

COLOMBO (News 1st) – චීන කාබනික පොහොර ආනයනය පිළිබඳව විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත, ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ, අද පාර්ලිමේන්තුවේදියි.

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ පිළිබඳව ප්‍රතිචර දක්වමින් කියා සිටියේ එවක රාජ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව සිදුකළ මේ ගනුදෙනුව පිටුපස වෙනත් කතාවක් ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයෙන් පසුව, 2021 අගෝස්තු පස්වනදා චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් නමැති සමාගමෙන් ඩොලර් මිලියන 63.9 ක් ගෙවා මුහුදු පැලෑටිවලින් නිපදවූ කාබනික පෙහොර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබිණ. 

එවක විෂයය භාර අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළ අතර රාජ්‍ය අමාත්‍ය ධුරය දැරුවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි.

2021 සැප්තැම්බර් මාසයේ මෙරටට ළඟා වූ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි ශාක නිරෝධායන සේවය නිගමනය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් ඇතිවූයේ බරපතළ අර්බුදයකි.

විවිධ ක්‍රියාමාර්ග ගැනුන ද අවසානයේ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ අතර, චීන පොහොර නැව රටේ තැන තැන යාත්‍රාකර අවසානයේ පිටව ගියේ ය. 

පසුව චීන සමාගම ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් ඉල්ලා සිටි අතර, 2021 ජනවාරි 7 වනදා ශ්‍රී ලංකාවට එම මුදල ගෙවා දැමීමට සිදුවිය. 

පොහොර අංශුවක් හෝ නොමැතිව රට බරපතළ ආර්ථික අර්බුදයක සිටියදී ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට සිදුවීම පිළිබඳව එවක බරපතළ විවේචන එල්ලවූ අතර, පොහොර තොගය නිසි අනුමැතියකින් තොරව ගෙන්වා තිබූ බවට ද එහිදි චෝදනා නැගිණ.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වාර්තාවක් සකස්කර ඇති අතර වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා පසුගිය දිනක නැගූ ප්‍රශ්නයකට අද පිළිතුරු දෙමින් ඒ පිළිබඳව කරුණු අනාවරණය කළේ ය.