පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වූ සංශෝධන පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට

by Staff writer 05-07-2023 | 1:22 PM

COLOMBO (News 1st) - විසුරුවා හැර ඇති සියලුම පළාත් පාලන ආයතන විෂයය භාර අමාත්‍යවරයා, නියම කරන කාලසීමාවක් සඳහා නැවත කැඳවීමට බලය දෙන පනත් කෙටුම්පත් තුනක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

කෙටුම්පත් 3 ඉදිරිපත් කළේ, පොදුජන පෙරමුණේ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතායි.

මහනගර සභා අඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතේ වගන්ති සංශෝධනය කර අමාත්‍යවරයා තීරණය කරන කාල සීමාවකට පළාත් පාලන ආයතන නැවත කැඳවීමට බලය ලබාදීමට මෙම කෙටුම්පත්වලින් යෝජනා කර තිබේ.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ  පෞද්ගලික මන්ත්‍රී යෝජනා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ස්ථිර කළේ ය. 

විපක්ෂයෙන් ඊට එල්ලවුණේ දැඩි විරෝධයකි.