විශේෂඥ වෛද්‍ය හිඟයෙන් ප්‍රතිකාර සේවාවලට බාධා

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා - GMOA

by Staff writer 04-07-2023 | 5:52 AM

COLOMBO (News 1st) - විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ප්‍රධාන රෝහල්වල පවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවය.

මේ සම්බන්ධයේ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු පැවසුවේ ජූලි 30 වැනි දා වනවිට විශේෂඥ වෛද්‍යවරු 30ක් පමණ විශ්‍රාම ලබන බවයි.

පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියම් ලෙස දැනට විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට යොදා ගත හැකි ද යන්න සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර විශේෂඥ්‍ය වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.