ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150ට වැඩි වැසි..

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150ට වැඩි වැසි..

by Staff writer 03-07-2023 | 9:22 AM

COLOMBO (News 1st) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඊට අමතරව ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද පළාත, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර් 45 ක් පමණ දක්වා ඉහළ යා හැකි ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.

මේ අතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.