ව්‍යාපාරිකයින්ට,වෘත්තීය සමිතිවලට ජනපති කියූ දේ..

දේශීය ණය ප්‍රශස්තකරණයේ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් පැවරී ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාවට හා වෘත්තීය සමිතිවලටයි - ජනපති

by Staff writer 30-06-2023 | 5:16 PM

COLOMBO (News 1st) - දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැකි බවයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (29) පැවති සාකච්ඡා දෙකකට එක් වෙමිනි. 

වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවට ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොළී අනුපාත අඩු වන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමි වන බවයි.

පොළී අනුපාත අඩුවීමේ කාලසීමාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි වුවත්, මාස කිහිපයක් තුළ පොළී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකතනය කර ඇතැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදී තිබේ. 

වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළී අනුපාත නැවත වැඩි වීමේ අවදානමක් ඇති බවයි.

එමෙන්ම රුපියල ශක්තිමත් වී ඇති මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවයි.

සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන 9% ක වාර්ෂික පොළිය ඒ ආකාරයෙන්ම ලබාදෙන බව නීතියෙන් සහතික කරන බවත්, එබැවින් ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමග සංවර්ධන ආධාර මෙරටට ලැබෙන බැවින්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාල වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට ද හැකි බවයි.

ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධය තුළ නව රැකියා අවස්ථාව රැසක් ද බිහිවන බව ජනාධිපතිවරයා එහිදී  වැඩිදුරටත් පෙන්වාදී තිබේ.