.webp)

COLOMBO (News 1st) – වයඹ පළාතේ වන අලි උවදුර, දෛනික ජන ජීවිතයට එල්ල කරන බලපෑම සුළුපටු නැහැ.
අලි කරදරය තිබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ, එරියාව ගම්මානයට අද සුවිශේෂි දවසක්.
අලින්ට බියෙන් අකුරු කළ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ආරක්ෂිත විදුලි වැටක් ඉදි කිරීමට ගම්මැද්ද අද උදෑසන වැඩ ඇරඹීය.
ඒ, වන අලි උවදුරෙන් වසර ගණනාවක් මුළුල්ලේ පිඩාවිඳි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරියාව ගම්මානයේ ජනතාවගේ සතුට.
පවුල් 100 කට අධික පිරිසක් ජීවත් වන මේ ගම්මානයේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන
හැබැයි දැන් කාලෙක ඉදලා හිතේ හැටියට අස්වැන්න නෙලා ගන්න බැරි වෙලා තියෙන්නේ රෑට ගම්වදින අලි රංචු නිසා.
උදේ ඉදන් දුක් මහන්සියෙන් කරන ගොවිතැන්, මහ රෑ විනාශ කරලා දාන්නේ ගම්මුන්ගේ බලාපොරොත්තු සුන් කරමින්.
එරියාවෙ දරුවො ඉගෙන ගන්නෙ මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ
ඉස්කෝලෙ ඉඩමටත් අලි එනවා.
දරුවන්ගේ ජීවිත තියෙන්නේත් අවදානමක.
මේ අවදානම ගැන ගම්මු, ගම්මැද්දට කිවුවා.
ඉස්කෝලේ වට කරලා ආරක්ෂිත විදුලි වැටක් හදන්න අද මුල පිරුණේ ඒ අනුවයි.
මේ ප්‍රජා සත්කාරය සදහා ගම්මැද්දට සවිය දෙමින් මූල්‍ය දායකත්වය සපයන්නේ, රත්මලානේ පදිංචි විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ, රංජන් පියසිරි දන්තනාරායන මහතා.
පාළුකඩවල ශ්‍රී වාසිකාරාම විහාරාධිපති හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ඇහැටුවැව සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එල්.ටී.එම්. විජේසිංහ මහතා, මහව කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.ඒ.
එච්.එම්.එස්. බණඩාර මහතා ඇතුළු ආරාධිතයින් සහ එරියාව මහින්ද ප්‍රාථමික විදුහල්පති අනිල් ගාමිණී විජේරත්න මහතා මේ අවස්ථාවට සහභාගි වුණා.
ගම්මැද්ද සාමාජිකයින් සමග, මහලේකම් ප්‍රසන්න අතුකෝරළ, මේ අවස්ථාවට සහභාගි වුණේ තවත් වැදගත් ව්‍යාපෘතියක ආරම්භක අවස්ථාව, ගම්මැද්ද ඉතිහාසයට එක් කරමින්.
ඉතා ඉක්මණින් මේ වැඩේ අවසන් වෙයි.
හිතේ නිදහසෙන් අකුරු කරන්න දරුවන්ට පුළුවන් වෙයි.
ඒක තමයි ගම්මැද්දේ අපේක්ෂාව.
