.webp)
COLOMBO (News 1st) – 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 82 කින් අද ජය ගත්තේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙන්නේ මූලික වටයේ සහභාගී වූ තරග සියල්ලම ජය ගනිමිනි.
මෙම තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ පළමු සහ දෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වේ.
බී කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය වන මෙය බුලවායෝහිදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 43කදීයි.
දිමුත් කරුණාරත්න ලකුණු 7කට පිටියෙන් ඉවත් වූ අතර කුසල් මෙන්ඩිස් එක් ලකුණකට දැවීගියහ.
එක් දින ක්‍රිකට් ලකුණු 1000 සීමාව සීමාව පසු කළ පැතුම් නිස්සංක ලකුණු 75යි.
ඔහු සහ සදීර සමරවික්‍රම අතර තුන් වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 55ක්.
සදීර ලකුණු 26ක් රැස් කළේ ය.
චරිත් අසලංක සහ පැතුම් නිස්සංක සිව්වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් පිහිටවූහ.
චරිත් අසලංක 4 පහර 4ක් සහ 6 පහර 2ක්ද සමගින් ලකුණු 63යි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළේ ය.
ලකුණු 246ක ඉලක්කයකින් පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 14කදී දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය.
මැතිව් ක්‍රොස් ලකුණු 7යි.
මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ මබ්‍රැන්ඩන් මැක්මලන් ලකුණු 5කට පිටියෙන් ඉවත් විය.
නැවතත් ක්‍රියාත්මක වූ තීක්ෂණ ලකුණු 10ක් ලබා සිටි ස්කොට්ලන්ත නායක රිචී බෙරින්ටන් පිටියෙන් ඉවත් කළේ ය.
අනතුරුව පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටුණේ ලකුණු 45කදීයි.
ක්‍රිස් සෝල් සහ ක්‍රිස් ග්‍රීව්ස් ස්කොට්ලන්ත ඉනිම ශක්තිමත් කරමින් 9වැනි කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ලකුණු 246 ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්තයට පන්දුවාර 29ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 163ක් පමණි
මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගත් අතර වනිදු හසරංග කඩුලු 2ක් බිඳ හෙළූහ.