රට රැකියා දෙන බව කියා මුදල් වංචා කළ 6ක් දැලේ

රට රැකියා දෙන බව කියා මුදල් වංචා කළ 6 දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 27-06-2023 | 1:05 PM

COLOMBO (News 1st) – කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවන් 6 දෙනෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලිසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි මත කළ විමර්ශනයකින් අනතුරුව කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් වැටලූ බවයි.

එහිදි සැකකරුවෙකු හා සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ සැකකරුවන් සමග පරිගණක 03ක්, ලැප්ටොප් 03 ක්, මුද්‍රණ යන්ත්‍ර 4 ක්, ස්කෑන් යන්ත්‍රයක්, ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශන, විවි පාස් පොත්, තානාපති කාර්යාල වෙත යැවීමට සකස් කර තිබූ වත්කම් සම්බන්ධ ලේඛන, විවිධ නිල මුද්‍රා සහ මුදල් තොගයක් ‍පොලිස් භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සීදුව, වත්තල, රාගම හා කැලණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 68, 47, 45, 31, 28 හා 23 යන වයස්වල පසුවන සැකකරුවන් පිරිසකි.

ඔවුන් විසින් වීසා ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ නමින් විවිධ වත්කම් ප්‍රකාශන, ස්ථාවර තැන්පතු සහතික හා ගිණුම් ප්‍රකාශන, ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන නිකුත් කර ඇති බව ද අනාවරණවී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.