ණය ප්‍රතිව්‍යුහගතකිරීම ගැන පැහැදිලි කිරීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්...

by Hashini De Mel 27-06-2023 | 6:44 PM

COLOMBO (News 1st) - දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද , කිසිදු ආකාරයක බලපෑමක් නොමැති බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු  රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයටද බලපෑමක් එල්ල නොවන බව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන සංකීර්ණය විවෘත කරමින් ජනාධිපතිවරයා  අද (27) මේ බව  ප්‍රකාශ කළේ ය.

රටේ මිලියන 50 කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිදු  තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිදු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ලබන සෙනසුරාදා පෙරවරු නවයයි තිහට පාර්ලිමේන්තුව කැඳවන බව දැනුම් දෙමින් කථානායකවරයා අද පස්වරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

එහි සඳහන් වන්නේ ස්ථාවර නියෝග 16 යටතේ මේ කැඳවීම සිදුකරන බවයි.