කොදෙව් කණ්ඩායම පැරදූ නෙදර්ලන්තයට ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පැරදූ නෙදර්ලන්තය ජය ලබයි

by Staff writer 26-06-2023 | 10:03 PM

COLOMBO (News 1st) – අනපේක්ෂිත පිතිහරඹය

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබව එහි අපූර්වත්වය බවට කිසිදු විවාදයක් නැහැ.

ඇතැම් අනපේක්ෂිත පිතිහරඹ, තරගයක අවසානය වෙනස් කරන්නේ ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමිනි. 

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන් නෙදර්ලන්තය ජය ගත්තේද ඒ අනුවයි.


පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ජොන්සන් චාල්ස්  සහ බ්‍රැන්ඩන් කිං ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගූහ.

බ්‍රැන්ඩන් කිං ලකුණු 76ක් රැස් කළේ 4 පහර 13ක්ද සමගිනි.

නිකලස් පූරන් නොදැවී ලකුණු 104ක් රැස් කළ අතර කීමෝ පෝල් නොදැවී ලකුණු 46යි.

බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණූ 374ක් රැස් කළේ ය. 

නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ  වැටුණේ ලකුණු 76දීයි.

මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු 36ක් රැස් කළ අතර නායක ස්කොට් එඩ්වඩ්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 67කි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ තේජා නිදමනුරු ලකුණු 111ක් රැස් කළේ 4 පහර 11ක් සහ 6 පහර 3ක්ද සමගිනි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 374කි.

ඒ අනුව ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් ලබා දුන්නේ ය. 

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ලකුණු 30ක් රැස් කළේ 6 පහර 3ක්ද එල්ල කරමිනි. 

ලකුණු 31ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 2ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 8ක් පමණයි.

ඒ අනුව නෙදර්ලන්තයට තරගයේ ජය හිමි විය. 

මේ වන විට ඒ කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග සියල්ලම අවසන් වී ඇති අතර පිළිවෙලින් සිම්බාබ්වේ, නෙදර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කර ගෙන අවසන්ව තිබිණ.

බී කාණ්ඩයේ සහභාගී වූ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ද මේ වන විට සුපිරි 6 දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කරගෙන සිටින්නේ මූලික වටයේ තරගයක්ද ඉතිරිව තිබියදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ස්කොට්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතයි.


මේ අතර 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමග පැවැති තරගයෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 304 ක ජයක් වාර්තා  කළේ ය. 


පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට නායක ශෝන් විලියම්ස් සහ ජොයිලෝඩ් ගුම්බි ලකුණු 160ක සබඳතාවක් ගොඩනැගූහ. 

ජොයිලෝඩ් ලකුණු 78යි.

ශෝන් විලියම්ස් 4 පහර 21ක් සහ 6 පහර 5ක්ද සමගින් ලකුණු 174ක් රැස්  කළේ ය. 

සිම්බාබ්වේ කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6කට ලකුණු 408ක් රැස් කළ අතර එය  එක් දින ඉනිමකදී එම කණ්ඩායම රැස් කළ ඉහළම ලකුනු සංඛ්‍යාවයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද එය වේ. 

අමෙරිකානු පිළිතුරු ඉනිම ලකුණු 104කට සීමා විය. 

පිතිකරුවන් අට දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග අංශයේ දෙවැනියට වැඩිම ලකුණු  පරතරයකින් ජය ගත් තරගය මෙයයි.