මොස්කව් අගනුවරට ත්‍රස්ත විරෝධි හදිසි තත්ත්වයක්

රුසියානු හමුදා කඳවුරක පාලනය කුලී හමුදා යටතට ගැනීමත් සමග මොස්කව් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ත්‍රස්ත විරෝධී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 24-06-2023 | 6:05 PM

COLOMBO (News 1st) - රුසියාවේ, මොස්කව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ත්‍රස්ත විරෝධී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, රුසියානු හමුදා නායකත්වය නෙරපා දැමීමට සියලු පියවර ගන්නා බවට වැග්නර් කුලී හමුදා ප්‍රධානියා ප්‍රතිඥා දීමත් සමගයි.

හමුදා සාමාජිකයින් විසි පන්දසක් සමග රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයක් වන රොස්තොව්හි හමුදා කඳවුරක් සියතට ගත් බව වැග්නර් කුලී හමුදා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් අද (24) උදෑසන නිවේදනය කළේ ය.

ඔහු පැවසුවේ, සිය හමුදා ඉලක්ක කර රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

සිය රට විශාල පාවාදීමකට ගොදුරු වී ඇතැයි වැග්නර් කුලී හමුදා ප්‍රධානියාගේ ප්‍රකාශයෙන් අනතුරුව රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, කුලී හමුදා මෙහෙයුම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් බැවින් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

රොස්තොව්හි තත්ත්වය භයානක බව පිළිගත් රුසියානු ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ද අවධාරණය කළේ ය.

යුක්‍රේනය අල්ලා ගැනීමේ සටන ආරම්භයේදී රුසියානු ජනාධිපතිවරයා සිය හමුදා සමග වැග්නර් කුලී හමුදා, සටන් බිමට යොමු කරනු ලැබීය.

මීට මාස කිහිපයකට පෙර කුලී හමුදා ප්‍රධානියා සහ රුසියානු ආරක්ෂක බලධාරීන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණේ, රුසියානු හමුදා ප්‍රහාරවලින් කුලී හමුදා සාමාජිකයින් මියයෑමත් සමගයි.

කෙසේ වෙතත් මේ වනවිට කුලී හමුදා ඉලක්ක කර රුසියානු හමුදා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කුලී හමුදා යටතේ පවතින ප්‍රදේශවලින් පිපිරීම් සහ වෙඩි හඬ ඇසෙන බවයි.

රුසියාවේ දුර්වලකම මෙම සිද්ධියෙන් නිරූපණය වන බව යුක්‍රේන ජනාධිපති වොලඩිමීර් සෙලන්ස්කි පවසයි.

ඔහු සඳහන් කළේ, රුසියානු කුලී හමුදා සිය භූමියේ සිටිනතුරු රුසියාවේ දුර්වලබව නිරූපණය කරන බවයි.