පළමුව කළ යුත්තේ විනිවිද දැකිය හැකි සමීක්ෂණයක්

ආණ්ඩුව පළමුව කළ යුතුව තිබුණේ විනිවිද දැකිය හැකි සමීක්ෂණයක් - විපක්ෂ නායක

by Staff writer 24-06-2023 | 6:41 PM

COLOMBO (News 1st) - ආණ්ඩුව පළමුව කළ යුතුව තිබුණේ රටේ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා විනිවිද දැකිය හැකි සමීක්ෂණයක් කිරීම බව අස්වැසුම සහනාධාර වැඩසටහන පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ වෙනුවට උගුරට හොරා බෙහෙත් බොන්නට ගොස් මුළු රටම අවදානමකට තල්ලු කර ඇතැයි ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70ක් සිටිය දී ලක්ෂ 12 කට සහන සැලසීමේ අරමුණ කුමක් ද යන්න ඔහු විමසන පැනයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනුදෙනු පවා සිදු කෙරෙන්නේ, පොදු අරමුණකින් රට ගැන සිතා නොව, පටු අරමුණු 
පිණිස බව නිවේදනයේ සඳහන් වේ.

මේ තත්ත්වය වෙනස් කර ජනතාවාදී චින්තනයකින් රට ගොඩනැගිය හැක්කේ නව ජනවරමක් හරහා බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත.

සමීක්ෂණ ප්‍රකාරව රටේ ලක්ෂ 70ක දුප්පතුන් ඉලක්ක කර ගනිමින් අස්වැසුම ක්‍රියාත්මක කළ යුතු බවත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් හරහා සැබෑ අවශ්‍යතා ඇති පිරිස තෝරාගත යුතු බවත් නිවේදනයේ සඳහන් වේ.